Monday, 2 September 2019

දේව උදහස..

" අනේ දෙවියනේ මොකක්ද මේ සිද්ධවෙච්ච අපරාදේ.. අනේ බුදු නංගියේ... "

පාඩම් කරමින් සිටි පොත අතහැරි මා වේගයෙන් සාලය දෙසට දිවගියේ කමලාවතී නැන්දාගේ විලාපය ඇසීමෙනි. මම සාලයට යනවිටත් ඈ නිවස ඉදිරිපිට හඬමින් වැලපෙමින් උන්නාය.මා පසුපසින් අම්මාද තාත්තාද දිව ආවේ ඇගේ අදෝනාවටය.

"බලාපන් නංඟියේ අපේ ලොකුඑකාලා වන්දනාවෙ ගිය වෑන් එක හෙලකට පෙරලිලාලු දෙයියනේ සුමනපාලයගෙ කොලුව එතනමලු අනේ අප්පොච්චියේ .." තවත් මොන මොනවාදෝ සිහිවිකල්ලෙන් කී ඈ සිහිසුන්ව ඇදවැටුණෙන් මමද අම්මාද ඈ වත්තම්කොටගතිමු.තාත්තා වහා හන්දියට දිවගියේ වැඩිවිස්තර දැනගැනීමේ අටියෙනි.

කමලවතී නැන්දාගේ ලොකුපුතාවූ අජිත් අයියා කොහොමත් නාහෙට නාහන ගමේ මිනිසුන් අතරද නිතර රණ්ඩු සරුවල් ඇතිකරගත් මතට ඇබ්බැහිවූවෙකි.ඊයේ පෙරේදා දෙදින සුරේෂ් අයියා මිලදීගත් වෑන් රථයේ ශ්‍රී පාදය වන්දනා කිරීමට යාමට කතිකා කරගෙන තිබුණහ..

සමන්දේව අඩවියේ ඉපදුණු අපට සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටාරක්ෂාව කවදත් නොමඳව ලැබිණි.ගමේ කා අතරත් සමන්දෙවි හාමුදුරුවන් කෙරේ ඉමහත් භක්තියක් එදා පටන් පවතින්නේද එහෙයිනි.. සමන්දෙවියන් පිළිබද නේක ජනප්‍රවාද අප කුඩා කල සිටම අසා දැන සිටි බැවින් නිරන්තරයෙන්ම උන්වහන්සේ පිළිබඳ උපන් මහත් ගෞරවයක් අප සිත් සතන් තුල පහලව පවතී..මහත් ආනුභාව සම්පන්න සමන්දේව අඩවිය වන්දනය ඉතාමත් භක්තියෙන් ඒ ඒ වත්පිළිවෙත් අනුවම සිදුකිරීමටත් අප උනන්දු වන්නේ එහෙයිනි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ එකී වත්පිළිවෙත් පිළිගැනීමට කිසිසේත්ම අකමැති වූ තරුණ පිරිසකි.

හංදියට ගොස් පැමිණි තාත්තා තකහනියේම සිද්ධිය සිදුවූ තැනට යාමට සූදානම් වූයේ ඔවුන්ගේ තත්ත්වය විමසා බැලීමටය.

"කියනතරම් කාරියක් නෑ මයෙහිතේ.ඔය කමලවතී වත්තම් කොරගෙන පරිස්සමෙන් ඉදහල්ල.සමන්දෙවි කරුණාවයි" තාත්තා පිටව ගියේ එසේ කියමිනි.

අනතුරට පත් සියලුදෙනා රෝහල්ගතකර තාත්තා නිවසට එනවිට රෑ බෝවී තිබිණි.
සුමනපාල මාමාගේ පුතා සිහිසුන්ව සිටිබවද ලැබී ඇත්තේ වැරදි ආරංචියක් බවද අපට තාත්තා එන්නට කලියෙන් ආරංචි වී තිබුණි.

"ඕකුන්ට ඔහොම වෙලාමදි.සමන්දෙයි හාමුදුරුවන්ගෙ අඩවියේ අපිරිසිදු වෙලා හිතුමතේට රහමෙර බිබී වන්දනා කරන්න ගිහින් තියෙන්නෙ හාමිනේ . අම්මප මේ වන්දනාගමනක්වත් මුංට පිරිසිදුව යන්ට බැරි හැටි.පෙර පිනකට සමන්දෙවි හාමුදුරුවෝ අනුකම්පා කොරල ඔයින් බේරල.වාහනේ තිබ්බ හැටි දැක්කම ඇගේ මයිල් කෙලින් වෙනව මයෙ."තාත්තා විස්තර කියවාගෙන ගියේ ගෙට ගොඩවෙමිනි.

වාහනය අතරමඟ නවතාගත් අජිත් අයියලා සඟවාගෙනා රහමෙර පානයකොට තවත් මත්ද්‍රව්‍ය භාවිතකොට ඇතිබවත් එසේ යන අතරමඟදී වාහනය හෙලකට පෙරලි ගොස් ඇති බවත් අප තාත්තාගෙන් දැනගතිමු.

සිරිපා වන්දනාවේ යාම බොහෝකල් පේවී යෑම අපගේ සිරිතය.එකලට නිර්මාශී වීම,මත්වතුර භාවිතා නොකිරීම විශේෂයෙන්ම කටවරද්දා නොගැනීම අප විසින් අනිවාර්යෙන්ම කලයුතු වත් පිළිවෙත් කිහිපයකි.අජිත් අයියලා එසේ අනතුරුට ලක්වූයේ එකී නොහොබිනා වැඩ කළ නිසා දේව උදහසට ලක්වීමෙන් බව සියලු ගම්වැසියන්ගේ අදහස වූයේ ඔවුන්ගේ පෙර අත්දැකීම්ද ඇසුරෙනි.කෙසේනමුත් ආදි විශ්වාස ඇදහිලි ගණන්නොගන්නා තාරුණ්‍යයට මෙය කදිම උදාහරණයක් වන්නට ඇති බව මගේ අදහසයි..

HS/2016/0227
K.P.T.N Dissanayake

Thursday, 27 June 2019

තියෙන්නම බැරිද ප්‍රේමයක්..

තියෙන්නම බැරිද ප්‍රේමයක්..
ගිනි පුපුරක් වෙලා ජීවිතේ අවුලාපු..
දැවි දැවී ඒ ගින්නටම පනින්න හිත ඉල්ලාපු..
අතින් අත යා නොකෙරුවත්..
නෙතින් නෙත් යා කරපු..
ඒ ඇස් දකින්නම ජීවිතේ වෙව්ලාපු..
සත්තකටම..
නුඹේ යැයි නොදැනම නුඹේම කරගෙන හිතින් විදවාපු...
තියෙන්නම බැරිද ප්‍රේමයක්..
හුස්ම පොදකටත් ලෝබකමින් හිත අස්සෙම සඟවාපු...

නිවර්ථනා ...

Sunday, 9 June 2019

❤️

නොඑන බව දැන දැනත් නෙත් කෙවෙනි රිදි රිදී
දුකම විතරක් වින්ද මේ හිතට තව මදී
යනෙන මඟ දහස් නෙත් අතර මඟ හැරි හැරී
අරුමයකි මේ හිතත් නුඹම පතනා හැටී...

නිවර්ථනා..

Tuesday, 28 May 2019

සේපාලිකා

සඳුට පෙම් බැඳ රැයක ඉපදී
සුවඳ දී ලොවටම හොරා
හිරු හෙමින් වුවනත සිඹිද්දී
ගිලිහුණා සේපාලිකා ..

-නිවර්ථනා-

Thursday, 11 April 2019

මතක..

පුංචි සමනල් රෑන ඇවිදින්
මල් සුවඳගෙන ඉගිළුනාවේ..
රැල්ල ඇවිදින් වෙරළෙ හැපි හැපි
මතක සටහන් ගෙන ගියාවේ..
සුළග ඇවිදින් ළඟම දැවටී
නුඹෙ සුවඳගෙන සැඟවුනාවේ..
අපේ දුප්පත් කඳුළු සෙනෙහස
අඳුරු අහසක ලියවුණාවේ..

                                 නිවර්ථනා

Wednesday, 10 April 2019

පැතුම්..

සුවඳ උතුරන සොදුරු පපුතුර
රැදෙන්නෙමි ලොව මිහිරැතී..
දිලෙන දෙනෙතින් ගලන සෙනෙහස
කල්පයක් වුව මට ඇතී..
නිදන නොනිදන සිහින අතරේ
කවිය නුඹමය අදරැතී..
දිනෙක සුවහස් පැතුම් අරගෙන
වෙමුද අපි පතිනිය පතී...

                                 නිවර්ථනා ..